Saturday, September 28, 2019
රික්ෂෝකාරයන් හොරකම් කළ පෙට්ටියේ තිබූ බෝ පැළය පිටකොටුවේ මහා බෝධිය වූ හැටි..............
පාන්දර එකට දෙකට කොළඹ පැමිණිය ද, මද්දහනේ පැමිණිය ද, පිටකොටුව බෝධීන් වහන්සේ වන්දනා කරන්නෙකු නොදකින්ට ලැබුණොත් එය දුර්ලබ දෙයකි. රටේ කොයි කොනින් පැමිණිය ද බෝධින් වහන්සේ ඉදිරියේ මොහොතකට නතර වී දොහොත් මුදුන් දී වඳින්නෙක් දැකීම සාමාන්‍ය දසුනකි. කාගේත් ජාති ආගම් කුල මල භේදයෙන් තොරව කාගෙත් වන්දනාමානයට පාත්‍ර වූ පිටකොටුවේ බෝධීන් වහන්සේට දිගු ඉතිහාසයක් ඇත. මේ ඉතිහාස කතා දන්න අය අද වන විට හිඟය.
ඒ කාලේ කොළඹ කොටුවේ තැබෑරුම් දාහතරක් තිබුණා. රජයට ලොකු ආදායමක් ලැබුණේ මේ තැබෑරුම්වලින්. ඒ කාලේ ඔය කොළඹ තිබුණේ වතු. සාංචිආරච්චි වත්ත, කෙසෙල්වත්ත, පංචිකාවත්ත, බායිගේ වත්ත (දැන් මරදාන කියන්නේ) යන වතු තිබුණේ.......
දැන් පිටකොටුවේ බෝධීන් වහන්සේ තියෙන තැන එදා තිබුණේ ඇළක්. දැන් ඇළ ගොඩවෙලා ගිහිල්ලා......
ඒ....කාලේ පිටකොටුව පොලිසිය තිබිලා තියෙන්නේ වේල්ලවිදීයේ. ඒ පොලිසියෙන් තමයි පිටකොටුවේ මහා බෝධිය බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නේ. යුනිවර්සල් හෝටලයෙන් තමයි දෑගසව් දෙනම හැදුවේ. ඇතුළේ තියෙන කතරගම දේවාලය හදලා තියෙන්නේ ලීලා ස්ටෝර්ස් අධිපතිතුමා. විෂ්ණු දේවාලය හදලා තියෙන්නේ වික්‍රමසිංහ මහත්තයයි නෝනයි. ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා එයාලගේ දේපළ අයිතිවුණා මහාභාරකාර මණ්ඩලයට. අදත් ඔවුන්ගේ දේපළවල මුදල් මේ සංගමයට ලැබෙනවා. ගම්බාර දේවාලය හැදුවේ සී.ජේ ආරච්චි. පසුකාලිනව රටේ නම්දරාපු බොහෝ ව්‍යාපාරිකයෝ පිටකොටුවේ බිස්නස් කරපු අය.
අද බෝධින් වහන්සේ තියෙන තැන එදා තිබිලා තියෙන්නේ ඇළක්.
මේ බෝධින් වහන්සේ ගෙනැල්ලා තියෙන්නේ අනුරාධපුරයෙන්. ඒ කාලේ අද වගේ බස් නැහැනේ. දකුණේ ඉඳලා අනුරාධපුරේ වන්දනාවේ ගිය පිරිසක් එන විට කාඩ්බෝඩ් පෙට්ටියක බෝ පැළයක් ගෙනැල්ලා. ඒ පිරිස කොටුවට ඇවිත් තියෙන්නේ කෝච්චියෙන්. ඒ රෑ ඔවුන්ට තේ බොන්න කියලා තියෙන්නේ පුංචි ආප්ප කඩයක්.ඔවුන් තේ බොන්න ගිය අතරේ රික්සෝකාරයෝ අර කාඩ් බෝඩ් පෙට්ටිය උස්සලා කැලේ හංගලා. අර මිනිස්සු ඒක හොයලා නැති තැන යන්න ගිහිල්ලා. කොහොම වුණත් රික්සෝකාරයෝ පසුව පෙට්ටිය ඇරලා බැලුවම එහි තිබිලා තියෙන්නේ බෝ පැළේ. ඔවුන් ඒක ඇළ ගාව හිටවලා. කාලයත් එක්ක බෝ පැළේ හැදිලා. ඒ වටේ රිස්සොකාරයෝ උණ බම්බු වැටක් ගහලා. ඔහොම ආව බොධීන් වහන්සේ තමයි දැන් රටේම ජනතාවගෙන් පිදුම් ලබමින් වැඩ ඉන්නේ.
පිටකොටුව බෝධීරාජ සමිතියෙන් ඇරඹි බත් දන්සල අද දක්වාම පැවැත්වේ. මෙය දින දෙකක් පුරා පැවැත් වෙන්නකි.
ඒ කාලේ පිටකොටුවේ තොග බඩු ඒ කියන්නෙ සහල් කෙරුවේ වී.ටී.වී දේවනායගම් කියන මහත්තයා.....
හැමදාම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පූජා කරලා තියෙන මලකුත් අරගෙන කනේ ගහගෙන තමයි කඩේ වැඩ පටන් ගන්න යන්නේ. ඔහු දෙමළ වුණාට බෝධීන් වහන්සේ වන්දනා කරනවා. හාල් මුට්ට එකසිය දොළහක් දීලා තිබුණා. හාල් මුට්ටයට හාල් සේරු අසූවක් තියෙනවා. පරිප්පු, ලූනු දුන්නේ ලීලා ස්ටෝර්ස් එකෙන්. එළවළු මැනිං මාර්කට් වෙළඳුන්ගෙන්. අදටත් පිටකොටුවේ ව්‍යාපාරිකයන්ගෙන් තමයි දන්සලට අනුග්‍රහය ලැබෙන්නේ.
ඒ කාලේ කෝකියාට දන්සලේ උයන්න රුපියල් 15000 ගෙව්වා. මේ දන්සලට සහාය දක්වන්න කියලා යුදහමුදාවට පොලිසියට පවා ලියුම් ලිව්වා. දන්සලේ සෙනඟ බෝධිය ගාව ඉඳලා ගෑස්පහ ළඟට යනතුරු හිටියා. නගරාධිපති ලෙස හිටිය ජබීර් කාදර් මහත්තයා තමයි වතුර බවුසර් දෙකක් දුන්නේ. බෞද්ධ අබෞද්ධ හැමෝම මෙයට සහාය වුණා.”
බෞද්ධ අබෞද්ධ හැමෝම එක්වී දන්සල පටන් ගත්තා......
තෙරුවන් සරණයි !
ජය ශ්‍රී !
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්