Friday, February 21, 2020

පෙම්වතා අත්හල සොවින් ගැමි තරුණිය ජීවිතය එපාවී පැන්න සුන්දර බෝපත් ඇල්ල..

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ථික්කයේ අගල්වත්ත නම් ග්‍රාමයේය.කළු ගගට එක්වන අතු ගගක්වු කුරු ගඟ, ඇගේ ගමන් මගේ එක් අවස්ථාවක කදු මුදුනක සිට පටු විවරයක් හරහා උසින් මීටර් 30ක්(අඩි 95) පමණ දුර කඩා හැලීමෙන් මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය වේ. හොඳින් ජලය ඇති කාලයේදී එම දිය දහර බෝ කොලයක ආකාරයෙන් කඩා හැලීම හේතුවෙන් මෙම දිය ඇල්ලට “බෝපත් ඇල්ල” යන නම ලැබී ඇත. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි.
බෝපත් ඇල්ල අද දේශීය සංචාරකයන්ගේ අවධාණය ලබාගත් සුන්දර ස්ථානයකි බෝපත් ඇල්ල වෙත යාමට කොළඹ සිට රත්නපුර – කොළඹ ඒ 4 මාර්ගයේ එක් මාර්ගයක් හිග්ගස්හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. සමාන දුරක් ඇති මෙම ප්‍රවේශ මාර්ග දෙක ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. බෝපත්ඇල්ල පිහිටි ගම් පියස අඟලවත්ත නමින් හැදින්වේ . ප්‍රධාන මාර්ගයේ සිට දුර කි.මි 03කි.මීට දශක දෙක තුනකට පෙර වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් වර්තමානයේ බෝපත් ඇල්ල විශාල සංචාරක පිරිසක් පැමිනෙන තැනක් බවට පත්ව තිබේ.එයට හේතු වශයෙන් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටීමත් ඉතා ඉක්මනින් ලගාවිය හැකි නිදහස් සුන්දර වටා පිටාවක් ඇති ස්ථානයක් වීම විය හැක.
බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. රත්නපුර සමන් දේවාලය වැදපුදා ගැණිමට පැමිණි පුරාණ පාලකයෝ බෝපත් ඇල්ලෙන් දිය නා පිරිසුදුව දේවාලයට ගිය බව පුරාවෘත්තයනට එක් වී ඇත. පැරන්නේ සිට පැවත එන තවත් කතාවක් වන්නේ පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනසා ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව කි . තවත් සුප්‍රසිද්ධ මිත්‍යා විස්වාසයක් වන්නේ මෙම දිය ඇල්ල ඇතුල් පැත්තේ නිධානයතක් ඇති බවටත් එය දිය ඇල්ලෙන් හා අත්භුත ආත්මයකින් ආරක්ෂා වන බවටත් එම නිධානය ලබා ගැනීමට මිනිසුන් දහසක බිලි පූජාවක් කල යුතු බවටත්ය.
මතුපිටින් පවතින සුන්දර බවට අමතරව බියකරු, අනතුරු සහිත ස්වභාවයක් ද මෙම ඇල්ල ආශ්‍රිව පවතී. අපරික්ෂාකාරීව ඇල්ලේ බෑවුම දිගේ ඉහළට නැගීමට ගොස් හා වෙනත් හේතූන් නිසා මේ වන විට 80 කට වැඩි පිරිසක් මෙහිදී මරණයට පත්වී ඇත. නුහුරු නුපුරුදු තැනක අපරීක්‍ෂාකාරීව හැසිරීමත් මත්පැන් පානය කර වැඩ පෙන්නන්න යාමත් මෙම මරණවලට ප්‍රධාණම හේතුවසි.කුරුවිට ප්‍රාදේශීය සභාව විසින් දිය ඇල්ල ආශ්‍රිතව රථ ගාලක්, නැරඹුම් ප්‍රදේශයක් හා වැසිකිලි සංකීර්ණයක් ඉදි කර ඇත. එමෙන්ම ඇතුල් වීම සඳහා රුපියල් 5 ක මුදලක් ද අය කරනු ලැබේ. මීට අමතරව පෞද්ගලික ආයතන විසින් පවත්වා ගෙන යන නේවාසික පහසුකම් සහිත විවේකාගාර කිහිපයක් ද ඇත.බෝපත් ඇල්ල නැරඹීමට එන විශාල ජනතාවත්, ඔවුන් පරිසරයට බැහැර කරන පොලිතීන්, බෝතල් කටු හා නොයෙකුත් ආහාරමය අපද්‍රව්‍ය හේතුවෙන් අවට පරිසරයේ සෞන්දර්යාත්මක බවට දැඩි ලෙස හානි සිදුවේ.
එදා අපේ නඩේ ගුරු ගෝලයෝ ඔක්කොම සැපට බෝතල් වල අඩිය පෙනෙන තුරු අපට තරු පෙනෙන නොපෙනෙන කාලයේ පින්තූර කීපයකි මේ.
බයිට් එකට මඤ්ඤොක්කා තම්බා ඌරු මස් ඩෙවල් සමග පත කොට උඩ තියා ඇස් රතු වෙනකන් තොල ගැවේය. චාරිකාවේ එක්වූමහින්දයා නොහොත් මයිනා බයිට් කර විනෝද වූ 90 දශකයේ මුල් කාලයේ ගත්ත පට්ට අමතක නොවන විනෝද ගමනක් වේ.
අප ගිය වාහනේ බෝපත් ඇල්ල අසබඩ කොට්ටම්බා ගහක් යට ගාල් කර තැබූ විට, පසුව සුළු මොහොතකින් පැමිණි එම පළාතේ හයිරන් කාරයො දෙන්නෙක් කුරුවිට ප්‍රාදේශීය සභාවේ සේවකයන් යයි කියා හොර වාහන නැවතීම් ටිකට් පත් පෙන්නා මුදල් ඉල්ලූ හැටි මතකයට නැගේ. මතින් මදක් වෙරි වී සිටි මා ඇතුලු තරුණ කැළ ටිකට් පත හිරුගේ දෙසට හරවා බලා අනික් නඩ වල පිරිස් සමග එකතු වී ගේම ඉල්ලුවේ හැටි මට මතකයට නැගේ.
එම ගමේ අය කිව්වේ
"මල්ලි උඹලා විතරයි මුන්ට කප්පම් දුන්නේ නැත්තේ... ඒකනං පට්ටම වැඩක්" කියාය
රත්නපුරයේ ආණ්ඩුවේ කන්තෝරුවක නමක් කියා මා ඔවුන්ව භිය ගැන්වූවාය. අදටත් මට හිනා යන්නේ ඔවුන් පූස් පැටව් වගේ කඩාගෙන ගිය හැටිය.
ඇල්ලට දිය නෑමට පැමිණි වන්දනා නඩ හා විනෝද චාරිකා ගෘප් වලින් මට සැලකිලිය. ඒ අයටත් හිතාගන්න බැරිය. මේවා අතීත සැමරුම් වේ. ලොකුකම් පණ්ඩිතකම් නොවේ එදා වෙලේ පොඩි පොඩි පට්ට රස කතා වේ. මේ වගේ මා සන්තෝසෙන් ආදරයෙන් සෙනෙහසින් විහිළුවෙන් තහළුවෙන් කාටත් කරදරයක් නොවී තියෙන දෙයක් කා, දෙන දෙයක් බි නයි මල්ලක් කරේ එල්ලන් තරුණ ජීවිතය ඇදගෙන ගියේය...
බෝපත් ඇල්ල ගැන ලියා ඇත්තේ zuckerberg මහත්තෑගෙ පිහිටෙන්...Jagath Randeniya ගේ ඡායාරූපය
Jagath Randeniya ගේ ඡායාරූපය
Jagath Randeniya ගේ ඡායාරූපය
Jagath Randeniya ගේ ඡායාරූපය

Thursday, February 6, 2020

පාලු සුසානේ...ප්‍රේම පුරාණේ...කදුළු විමානේ...

එදා මාලිගාවත්තේ අපේ නිවසේ සිට මරදාන පිටකොටුවට දෙසට ඇවිදයමින් හො බයිසිකලයෙන් මා යන්නේ එන්නේ නම් ඛෙත්තාරාම පන්සලේ අහසට විහිදී බැබලෙන කොත දෙස බලා බොහෝ විට දෙඅත් දොහොත් මුදුන් කර වදින්න අමතක කරන්නේ නැත. ලිවර් ඇල නොහොත් ඕලන්ද ඇලට සමාන්තරව දිව යන ප්‍රසිද්ඩ් ජුම්මා පල්ලිය පිහිටා ඇති ජුමමා මස්ජ්ඩ් ලෙන් දිගේ පී. ඩී. සිරිසේන ග්‍රවුන්ඩ් එක අසලින් විෂ්ණු කෝවිල වංගුව පසුකර යන විට ඇසෙන තෙවා හඩද, කපුරු සුවද, පාරෙදි ඇසට ගැටෙන නළලේ තිලිකේ තියන් යන තන්ගම්ම්ලා තන්ගචිචිලාද, කොටහේනේ ගල් පල්ලියේ කුරුසේ වලාකුළු ගැවී නොගැවී පෙනී ගිය අතීතයේ දැකපු විඳපු සුන්දර අසුන්දරත්වය ආයේ දකින්න අහන්න දැවටෙන්න මෙදා පොටේ සම්මජාතිකයකට නොලැබෙන්නේය.
ඉදිරියේ පෙනෙන රුබි සිනමාහල ඉදිරිපිට ගසා ඇති කටවුට් දෙස නෙත් යොමා මාර ගස් සෙවනේ එච්. ආර්.ජොතිපාල මාවතෙන් යන්නේ ගමන් මග කෙටි නිසාම නොවේ. ඊට ප්‍රධානම හේතුව මගේ මවගේ නෑදෑයන්ද එකම නිවාස පෙළක ජීවත්වෙන නිසා ඔවුන්ගේද දුක සැප විමසා දෙන දෙයක් බඩට දමාගෙන අම්මාට දෙන පණිවිඩද රැගෙන යන්නයි. තවත් විශේෂ හේතුවක් වනුයේ මාලිගාවත්ත අවට නිවාස සංකීර්ණයේ ජිවත් වන මග දෙපස ඇවිදින කලාකරුවෝ හා හදවත රත්තරන් ජෝතිපාලයාන් නම් අසහාය ගායක ශිල්පියාද සමග සිනහාවී දෑක ගැනීමේ හෝ වචනයක් වත් කතා කිරීමේ අසාවෙනි.
ඒ අතීතයේ සීදුවිම් අතර මෙම කෙටි සටහන ලියන්නේ පුදුම සතුටකිනි.
දිනක් ජෝතිපාල ගායකයානන්ගේ නිවසින් අසලින් සයිකලය පෑද යන මා එහි මාර ගස් ඇති සෙවනේ මිදුලේ සිට කලබලයෙන් තුවායකකින් මුහුණ පිස දමමින් ඔහු හනික මිදුලට පැමිණියේ පාරේ පැද යන පුට් සයිකලයේ දෙස බලා පදින මා අහම්බෙන් දෑක සිනහ වී මෙසේ කියමින්ය.
"මල්ලි...මල්ලි... පාගල ගිහින් අර යන සංවර්දන ලොතරැයි මල්ලිට පොඩ්ඩක් කතා කරනවාද " කියමින්ය.
එදා සයිකල් සුර කමල් පාලිතට වඩා වේගයෙන් පැඩල් කර ඉබි ගමනින් යන සංවර්ධනය ලොතරයි විකුනන අයියාට පණිවුඩය දි
මා ආපසු සයිකලය හරවා ඔහු හා ජෝතිපාලයානන් ලගට පැමිණියේ සංවර්ධන ලොතරැයි අලෙවිකරන අයියා මයික් එකේ වොඉස් මයිනස් කර සිහින්ව ඇසුණු ගීතය පලස් කරමින්ය.
ලොතරැයියිය තව කවුද ගන්නේ
ලක්ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ
පුංචි දෝණි තරහා වෙලා ... ගීතය වාදනද ඒ හා තාලටද කරත්තයද තල්ලු කරමිනි.
සිනමා ගීතයක වදනක් සේ කොක් හාඩලා සිනාසෙමින් ටිකට් කිහිපයක් ඇද කඩා ගත්තේ වෙලෙන්දාගේන් අද කොහොමද මල්ලි බිස්නස් ගොරෝසු හඩින් ආසාය. පසුව අප සමග සුහදව කතා කර නිවසට ගියේ
``බොහොම ඉස්තූතීයි මල්ලියේ"
"හැමදාම රස්තියාදුවෙ යනවා නේද.."
මා හට ලෙන්ගතුව කියමින්ය.නිතරම එහෙ මෙහෙ මා දෙක පුරුදු කෙනෙකුසේය.
එම සංවර්දන ලොතරයි අයියා මා දන්නා හදුනන දිනපතාම අපේ මාවතේදීද පෙට්ටි කරත්තය තල්ලු දමමින් ලෙන් වල ගැහැණු පිරිමි කොල්ලෝ කුරැට්ටො එලියට පැමිණ තෙක් ඉවසීමෙන් ටිකට් එකක් නොව තුන හතරක් විකිණීම අතින් දක්ෂයෙක් උනා. ඔහු වාදනය කරන කැසට් අතර ජෝතිගේ මිල්ටන්ගේ ගීත වලට ප්‍රමුකත්වයක් දී තිබුණා. එම සිනමා පටි වල ගීත වල රගන සුපිරි නළුවන් වූ විජේ, ගාමිණී, සනත්,රවීන්ද්‍ර ශිල්පින්ට පමණක් අවේනික හිමි ඇක්ෂන්ද දමා නටමින් ගයමින් ලොතරැයි විකුණමින් යන එන සැම දෙස සිනහාවෙන් සිය වෙලදාම් කළා. මේ අසහාය ගායකයාට මොහු කොතරම් හිතවත් හා ආදරය කලාද කියොතෝත් ජෝතිපාල මාවතේ ගීත වැඩිපුර ප්‍රචාර කරන්නේ ජෝති ගීත පමණක් බවද, ඒ වගේම ඔහු නිවසේ සිටි නම් අනිවාර්යෙන්ම ලොතරැයි හත අටක් නොව දහයක් ගත් බොහෝ අවස්ථාද ඇති බව ඔහු මට කියා තිබෙනවා. එදා ජෝතිගේ මරණය ගැන අසා දුක්වී අපට අයත් වෙළද සැල ඉදිරි පිට අපටද කදුලු උනවා ඔහුද ඉකි ගසා ඇඩු අයුරැත් දින ගනනාවක් වෙළදාමේ නොගිය හෑට්ත් මට සිහි වේ.
මගේ ගීත මම හිතනවා හුඟක්ම ප්‍රිය කරන්නේ දුප්පත් අහිංසක රසිකයෝ
රසිකාවියෝ කැමැති වෙනකන් මම හිතනවා ඕගොල්ලන්ට හැම එක්කෙනෙක්ම කැමතියි මගේ ගීත වලට..
මම හිතනවා නැත්තං මේ තිස් වසරක් මේ චිත්‍රපට ලෝකයේ ගායන ජීවිතේ මට ඉන්ඩ පිළිවෙලක් නෑ කියලා..
ඉතින් මං ඉතාමත් සන්තෝසයි කවදා හරි මගේ රසිකයෝ මට කිව්වොත් "දැන් ජෝතිපාල ඇති "කියලා අන්න එදාට මගේ ගායනාවද අවසන් කරනවා."
එහෙම කිව්වෙ එච් ආර් ජෝතිපාලයන් රූපවාහිනී සාකච්චාවකදීය.
විජය කුමාරතුංගයන්ගේ රඟපෑ අවසන් චිත්‍රපටයක් වූ මාලිගාවත්තේ අප බෝධිරාජ මාවතේ ලාල් අයියා නිෂ්පාදනය කල චිත්‍රපටයේද ගීත ගැයුවේද අමරණීය ගායක එච් ආර් ජෝතිපාලයන්ය.
මගේ මතකයේ හැටියට ජෝතිපාලයන්ගේ අනුස්මරණ දිනයකදී ටවර්හෝල් රඟහලේ විජය කුමාරතුංගයන් වේදිකාවේ කළ කතාව අප කාගේත් කඳුළින් තෙමී ගියේ ගියේය මා ද පිටුපස අසුනකට බරවී සන්තාපයෙන් සිටි හැටි සිහිවේ.
" මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ
මා මිහිරා ඔබ අතරද සිටින්නේ
ඔහු සොයමින් මා එනවා මේ.....
ගීත ගයා රඟා රඟාලා....
මා...ගේ සුදා... මා..ගේ සුදා තාම නෑ..."
බොරැල්ලේ සංගීත ප්‍රසංග අප ප්‍රේක්ෂකන් අතර සිටි ජෝති මේ ගීතය වේදිකාවේ ගයන විට ඇසෙන විට එදෙස බලා
මේ ඉන්නේ සුදා කියා කැ ගසා කිවේ ඔහු අවට සිටි අපද සිනහා සයුරේ ගිල්වමිනි.
මෙතෙක් කල් කොලොබදී මගේ ජීවිතේ කාලයේ දුටු විශාල ජනතාවක් අවමගුලකට සහභාගි වුණේ එදා ජෝතිපාල කලාකරුවාගේ අවමඟුල දින කීපය තුළදීය. මුළු මාලිගාවත්ත මහල් නිවාස භූමිය අවට මරදාන ඛෙත්තාරාම අවට විශාල ලොරි, බස්, කාර්, ගම් පිටින් මහජන ගංගාව දැකගත හැකි වුණා. අපේ ගම්වල සමහර උදවිය පෝළිම් ගාණේ රස්තියාදු රෑ බෝවී ගමට සමහරුන්ට ආපහු යන්න බස් නැතුව දින ගණනාවක් අපේ ගෙදර ගම්මුන්ට නවාතැන්පළක් වුණා
ඈත එපිට ගම් වලින් පැමිණි තම සුමිහිරි ආදරණීය ගායකයාණන් හට අවසන් බුහුමන් දැක්වීමට ජනතාව නිසා අපේ නිවෙස් ඉදිරිපිට පවා වැලපෙන රසික රසිකාවියන් රෑ බෝවී පදික වේදිකාවේ පවා කාලය ගත කරා මට මතකයි. ඔවුන් රැබී සිනමාහල අවට ශෝක ජනක බැනර් වලින් ප්‍රදර්ෂණය කර තිබුණා.
අප ගෙදරට යාබදව තිබුණු සුනිල් අයියගෙ ගෙදරට නිතරම යන එන ප්‍රසිද්ධ පත්‍රකලාවේදියකු වගේම ගීත රචකයකු වූ ආනන්ද පද්මසිරි නම් කලාකරුවා හා එදා දේශපාලනයේ නියුතු ටී එම් සංඝදාස අයියා නිතරම මේ අවමඟුල් සංවිධානයේ යෙදුණු අයුරුද එහි විස්තර අපට කියන අයුරුද මට මතක් වේ.
එම ගීත රෙකෝඩ් කලේ නුගේගොඩ පිහිටි ඔගි ශබ්දාගාරයේය. මේ අසමසම ජෝතිපාලයන්ගේ සජීවිව රෙකෝඩින් එකක් බලන්න මා ආසවෙන් හිටියා.මේ ගැන දැනගත් ලාල් අයියා ඔහුගේ චිත්‍රපටයේ ජෝතිපාල මහතා ගීත ගායනා සජීවී රෙකෝඩින් එක බලන්න ඔහු මට ආරාධනා කළත් මා යනවිට ප්‍රමාදවී පැමිණි නිසා එම අවස්ථාව මට අහිමිව ගියා. පසුව ඔහු මට මෙසේ දුකින් දොස් පැවරුවා
"මල්ලි උඹට මම එන්න කිව්වේ බලන්නත් අහන්නත් ආස නිසා අපරාදේ ගීත ගැයුවා විතරක් නෙවෙයි මලේ.. රැගුවා..අපි ඇඬුවා.." කියා ලාල් අයියා මට කීවා.
කොස් ගස් හන්දිය පලතුරු වෙළඳ සැලක් හිමි හිතවත් ධර්මසිරි අයියා ගීත වලට කොතරම් ප්‍රය කලාද ලීවොත් පලතුරු කඩේ තිබෙන කෙසෙල් කැන් එක ගොඩේ එල්ලා එහි මුල්ලක වීදුරු වලින් වටකර පොඩි රෙකෝඩ් බාර් එකක් කළා. ධර්මසිරි රෙකෝඩ්බාර් නමින්.
මා නිතරම ගීත අනුපිලිවෙලකට ලියා ගෙන කැසට් පීස් ගීත රෙකෝඩ් කරන්න යන රෙකෝඩ් බාර් එකක් වේ නම් ඒ ධර්මසිරි අයියාට අයත් රෙකෝඩ් බාර් එකයි. සමහර විට පැය ගණන් ඔහු හා මා ගීත තෝරා බේරා රෙකෝඩ් නිමවෙනතුරු අපි දෙන්නා චැට් එකක් දාගෙන සිටින අවස්ථාද නැතුවා නොවේ .
" මල්ලි මම ලඟදිම ජෝති අයියත් එක්ක කැසට් පීස් එකක් ගහනවා"
" ෂා... නියමයි අයියේ...සම්තින් එකක් හොයා ගන්නත් පුළුවන්නේ.."
"පිස්සුද මල්ලියෝ... ඒ ජෝති අයියාගේ සින්දු වලට අසාවට ආදරේට..."
ඇත්තටම ඔහු පීස් එකක් කළා එහි නම 'රත්තරන් සඳක්' ලෙස නම් කර තිබුණා. එම කැසට් පීස් එකේ රත්තරං සඳක් ගීතය නැගලම ගියා ඒ කාලේ. රෙකෝඩ් බාර් වල ඒ ගීත පට්ට ගැහුවා.
එහි ගීත රචනය : ඇලෝයි ගුණවර්ධන
ගායනය : H. R. ජෝතිපාල
සංගීතය : සරත් ද අල්විස්
කැසට් පටය : රත්තරන් සඳක් ( 1985 )
ඉදිරිපත් කිරීම : ධර්මසිරි රෙකෝඩ් බාර් කොස්ගස්හංදිය කොළඹ 14 .
ඒ වගේම මල්වත්ත පාරේ ජයනන්දන රෙකෝඩ්බර් අයිතිකරු ජයනන්දන අයියව ජෝතිපාලයන් කලාකරුවා ආශ්‍රය කළ ළඟම මිතුරන් අතර මුලිකව සිටියා. ඔහු ජනප්‍රිය කැසට් ගණනාවක් එකී නෙක පරදන ගීත රාශියක් එළිදැක්වූවා. ඒවා හුගාක්ම ප්‍රසිද්ධ වුණා. මල්වත්තේ පාරේ මා යනවා නම් අනිවාර්යෙන්ම ජයනන්දන අයියාට හිමි කැසට් සෙන්ටර් එකට රිංගා ඔරේජනල් කැසට් පීස් ගන්ඩ එදා අපිට පුළුවන් වුණා.
කොලොබ හා අවට රාත්‍රී ප්‍රසංග වගේම ගමේ අවුරුදු උත්සව, ගම් උදා සංගීත සංදර්ශන ඔහුගේ ගීත ගායනය මා වසග කළා.88 වසරේ දෙමටගොඩ වෙළද සංගමය මගින් සංවිධානය කල සංගීත සැන්දෑව සිහිවේ.කොළොන්නාවේ උපසේන බේකරියේ අයිතිකරු වන උපසේන අයියා විසින් එච්.ආර්.ජෝතිපාලයන් සදහා එදින අනුග්‍රහය දක්වා තිබුනා.ප්‍රේක්ෂකයන් අතරින් ඔහුව වේදිකාවට රැගෙන ගිය අතර උපසේන අයියා සමග මාද සිටියා.අපි අතර ඇතිවූ සුළු කතා බහේදී මා කිවේ
"ජෝති අයියේ පුලුවන්නම් හන්ගා ගල් ලෙනේ නැත්නම් රුන් රුන් රුන් රගන්නේ" ගීතය ගයනා කරන ලෙසයි.
"හරි මල්ලි හරි ගයන්න දෙනවානම් එලි වෙනකම් හරි ගයන්නම්" කියාය.
පසුව මැදියම් රැයේ ඔහු අප අමතක නොකර 'රුන් රුන් රුන් රගන්නේ' ගිය ගැයුවේ අපගේ පමණක් නොව සහභාගී වූ සියලුම රසික රසිකාවන්ගේ අත්පොලසන් හඩ විසිල් නාද මැදය.
'රුං රුං රුං රඟන්නේ
බඹරේ වැල්ලේ
අපේ පිනක් පෑදිලා ඉහේ මලක් පිදිලා...'
ඉහත ගීතය ජෝතිපාලයන් ප්‍රධාන චරිතය රඟපෑ "සූමීතුරො" සිංහල චිත්‍රපටයේ
ප්‍රසිද්ධ ගීතයකි. එය ජෝතිගේ ජීවිත කතාව ද වෙන බව අපි එදා සිනමාහල් තුළ ගැලරියේ සිට කතා වුණා. පසුකාලයකදී මා සමග මිත්‍ර වූ එහි සම නිෂ්පාදකවරයෙකු වූ නෙදර්ලන්තයේ ජීවත් වන 'පොඩි ජෝති' නමින් ගීත රසික රසිකාවියන් අතර ප්‍රසිද්ධ යුරෝපීය රසිකයා විසින් හි සම නිෂ්පාදනය සඳහා ද ගීතයේ සැබෑ දර්ශන තලවල ප්‍රධාන අමුත්තෙකු වශයෙන් ද පෙනී සිටියා
නිවාඩුවක් නැති වෙලාවක් ඇත්නම් ඔහුගේ දුක සැප කතා කළත් ජෝතිපාලයන් ගැන වචනයක් හෝ ඔහු කතා කරන්න අමතක කරන්නේ නෑ.
"මම ලෝක වටේ ජෝති අයියාගේ සින්දු කිව්වත්...
ඒ වොයිස් එකට මට කිට්ටු කරන්නත් බෑ බං..."
පොඩි ජෝති ඔහු ගැන වර්ණනා කරන්නේ විශාල ගෞරවයකින් හා භක්තියකිනි.ඉතා ලගින්ම හිතවත්ව ඔව්න්ගේ ඇසුර මිය යන තෙක්ම පැවතුනා.
"රත්තරන් හදවතක් මචං..." ඔහු එහෙමත් කියනවා
හැත්තැව දශකයේ නිකවැරටිය පළාතේ ප්‍රසිද්ඩ් වෙළද ව්‍යපාරයක් කල මගේ මාමා කෙනෙක් වන බණ්ඩාර මාමා ගේද ජෝතිපාලයාන් කුළුපග මිතුරෙකු වී සිටියා. එළිවෙන ජාමේ හොද හොද සෙල්ලම් වගේ දෙන්නා කෑමට බිමට ජොලියට හොදට ගැලපුන බව අදටත් ගමේ නැන්දා මතක් කරන්නේ ජෝතිපාලයන්ගේ රුවට සමාන රුවක් ඇති බිත්තියේ එල්ලා ඇති බන්ඩාර මාමගේ මුහුණ දෙස බලා සුසුම් හෙළමින්ය.
"ජිවිතේ තරුණ කාලේ එකසේ නොරැදේ
සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ..."
එදා 70 හා 80 දශකයේ නගරබද පිරිස් විනෝද චාරිකාවල යද්දීත් අපේ ගම්බද පිරිස් වන්දනා ගමන්වල යද්දීත් ගීත පොත් රැගෙන ගිය අතර විනෝදයට මහන්සියට අපි ඒ ගී ගැයුවේය. මේ ගී පොත්වල බොහොමයක් පැවතියේ ජෝතිපාලගේ ගීත වේ.දන්කොටුවේ මල්පියලි මුද්‍රණකරුවෝ මෙ වැනි ගීත පොත් මුද්‍රණයේ ප්‍රචලිත ව සිටියෝ වෙති. ගම්වල රාත්‍රී කාලයේ පැවැත්වුණු විවිධ සංගීත සාජ්ජ හා පාටිවල දී ඩෝල්කි හා සර්පිනා වාදනය කොට ගීත ගයද් දී මතකයෙන් ගී ගැයීමට නොහැකි පිරිස් මේ ගී පොත් බලාගෙන ගීත ගයනා කළේය.
සාදාදරණීය ජෝතිපාලයන් බොහෝ කලක් භාවිතා කල ජර්මනියේ නිෂ්පාදිත මර්සිඩෙස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ඔහු සතුව තිබුණා එම රථය ජෝතිපාල මාවතේ මාර ගස් යට ඉඳහිට නවතා තිබෙනවා මා දැක තිබෙනවා. මෙම මෝටර් රථයට බොහෝ ඇළුම්කල බවද මා අසා තිබෙනවා.
සිංහල සිනමාවේ වැඩීම ජනප්‍රිය ගීත ගනනාවක් හා සැම ගායිකාවක් සමග යුග ගීත ගයනා කලේ ඔහුයි.එදා සිනමාවේ රගපෑ හැම නළුවෙකුට තම කට හඩට ගැලපෙන සරිලන ලෙස පසුබිමෙන් ගීත ගැයුවා.
විකට චරිත රගපා ගීත ගැයූ ප්‍රෙඩ් සිල්වා මහතා සමගත් 'ජය අපටයි' ච්ත්‍ර පටියේ
"පාට සරුංගල් වාගේ අපේ ජිවිතේ"ගීතයත් 'මුවන්පැලැස්ස' චිත්‍රපටයේ
"දැක්කොතින් මේ ලස්සන ලෝකේ" වැනි ගීත එකට ගයනා කළා වගේම පණ්ඩිත අමරදෙවන් ශුරීන් සමගත්
'ගිම්හානේ ගී නාදේ' චිත්‍ර පටියෙත් ගී ගයනා කළා.එපමනක් නොව බයිලා චක්‍රවර්ති එම. එස්. ප්‍රනාන්දු මහතා සමගත්
'හතර දෙනාම සුරයෝ' චිත්‍ර පටියේ
"හැඩට වැඩට හරි ශුරයෝ අපිත් කොලබ කොල්ලෝ" වැනි අමතක නොවන ජනප්‍රිය ගීත ගයනා කළා
චිත්‍රපටි කීපයක ප්‍රදාන චරිතය රපාමින් ගී ගයමින් සිනමා රසිකයන්ගේ ආදරයට බදු උනා.
ජෝතිපාලයන් ගී ගැයූ චිත්‍රපටයක් හොදම චිත්‍රපටය ලෙසින් ශ්‍රී ලංකාවේ සම්මාන ලබා තිබේද ?
හොදම ගීත රචනයට , සංගීත අධ්‍යක්ෂනය ට පිරිනැමීමට නියමිත සම්මානය පවා ජෝතිපාලයන් ගී ගයයි නම් නොදෙන්නට ක්‍රියාකල අතීතයක් තිබුණි.
මෙවන් අසාධාරණකම් වලින් සිත් තැලී අන්ත අසරනවූ ජෝතිපාලයන්
" ඔවුන් ප්‍රබුද්ධ...අපි පීචං... " යි තමන්ගේ භාෂාවෙන් ඒ ප්‍රසිද්ධ ප්‍රකාශය කලා මට මතකය.
"පාළු සුසානේ ප්‍රේම පුරාණේ" ගීතය ය. 1985 තිරගත වූ "ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටයේ මේ ගීතය උදෙසා එච්.ආර්. ජෝතිපාලයන් හට හොඳම ගායකයාට හිමි සරසවි සම්මානයත් ; ආචාර්ය අජන්තා රණසිංහයන් හට හොඳම පද රචකයාට හිමි සරසවි සම්මානයත් හිමි විය. කසිකබල් පද වැල් සහ තනු නම් වූ මරුවැලෙන් ජෝති ගලවාගන්නට අජන්තා සහ සරත් ද අල්විස් ගත් මේ උත්සාහය සාර්ථක වුවද ඒ මාවතේ වැඩි දුරක් යන්නට ජෝති ජීවත් වූයේ නැත.
ප්‍රසංග වේදිකාවේ වැඩිම ජනතා හරසර හිමිවෙන නිහාල් නෙල්සන් කලාකරුවා කිවේ එච්. ආර් කියන්නේ "හදවත රත්තරන් ජෝති" කියාය.
ඔහුගේ මරණය සිදුවූයේ 1987 ජූලි මස 07 වෙනිදාය. අවසන් වරට ප්‍රසංග වේදිකාවක ගීත ගැයුවේ කතරගම ගම්උදාව ප්‍රසංගයේ දී ය. ඒ ජූලි මස 03 වන දායි. උග්‍ර ශ්වසනාබාධයකින් පීඩා විඳි ජෝති ඒ ගැන නො තකා නිදිවරමින් දූවිලි සහිත ප්‍රදේශයක ගීත ගැයීමට යාම මරණය ඉක්මනින් ඔහු වෙත ලංවීමට හේතුව විය.
අවසන් දින මහා සංගීත ප්‍රසංග සමග පැවත්වන සැම ගම් උදාවක් මා නැරබුවේ එදා කට්ට කා ලංගම හෝ වෙනත් වාහන වල ගොසින් එල්ලී නිදි මාර ගෙනය. කතරගම පැවති ගම් උදාවද එසේය. එම මහා සංගීත ප්‍රසංගයේ ගායක ගායිකාවන්ගේ හා වාදක මණ්ඩලය වගේම විස්තර කථනයේ නම් ගම් සහිත පෝස්ටය දකිද්දී හිතට ගතට එන සතුට කියා ලියා නිම කරන්න බැරිය. ඒ තරම් රසවත්ය. කතරගම සැණකෙළියයෙ එම පෝස්ටරය කොළඹ නගර සභාවේ හැම තාප්පයක මහජන ලිං බැමි වල පමණක් නොවේ ඈත ගම්වල කුඹුක් ගස් වල පවා පාන්පිටි තවරා අලවා තිබුණා.
පොචුන්ස් වාදක කණ්ඩායම සුමිහිරි වාදනයෙන් ජෝතිගේ අවසන් ගම් උදා සැණකෙළියේ ප්‍රසංගයේ වර්නවත් වත් කළේය.
"හන්ගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ..."
"පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න ශුරයා..."
"රාජ කිරුළ පලන්දාපු රජ්ජුරුවෝ ගීතය" ගායනා කළේ ගීතය ලියපු කඩදාසියක් බලාගෙනයි.
අසනීප පසෙක තබා වෙනදා නැති රිද්මයකින් ගීත ගයනා කලේ තම රසික රසිකාවන්ගේ ඉල්ලීම් මතය.මා අවසන් වරට එම වේදිකාවේ වර්නවත් විදුලි ආලෝක අතරින් ඇතින් ඔහු ගී ගයනු අවසන් වරට දුටුවේය. ඒ මාද නැරබු අවසන් ගම්උදාව වේ.
පසුව නැවත මාලිගාවත්තේ ඔහුගේ නිවසේ දේහය බැලීමට පැය ගණකක් යහළුවන් සමග පෝලිමේ උන්නේ නින්ද නොගිය රාත්‍රී කිහිපයක් පසු කරමින්ය.
බොරැල්ල කනත්තේ ඔහුට පොදු ජන ගායකයා ලෙස එහි විස්තර කථනය කළ මාධ්‍යවේදි ප්‍රේමකීර්ති ද අල්විස් මහතා කියා සිටියේය. දහස් සංඛ්‍යාත රසික රසිකාවන් සෝ සුසුම් මැද චිතකය දැනුණේ ඔහුගේ ගීත වාදනය කරමින්ය. අවමගුල් උළෙලේ අන්තිම මොහොතේදී ක්ෂණිකව ලියා කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායනා කළ ගීතය අප කාගේත් දෙනෙත් අග කඳුළු බිඳුවක් එක්කරමින් හිත හඬා වැටුණු අයුරු මට සිහිවේ. එදා කනත්තේ වෙනම සංස්කෘතියක් ඇතිකලේ අහම්බෙනි.
අවට සිටි දහස් ගණනක මහා ජනතාව කනත්ත වටේ පිහිටා තිබුණු තාප්ප වල, ගොඩනැඟිලි වහලවල් මත නැග සමහරෙක් ගස්වලද නැග අවසන් ගෞරවය දැක්වුයේ අපිරිමිත සෙනෙහසකිනි. පොදුජන ගායක ජෝතිපාලයන්ගේ අවසන් මොහොත දුක්මුසු අවස්ථාව මා ද අසල පිහිටි තාප්පයක නැග බලා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.
1988 පෙබරවාරි 12 වැනිදා එච්.ආර්. ජෝතිපාලගේ ගුණ සමරු සංවිධානය විසින් සංවිධානය කරන ලද එච්.ආර්. ජෝතිපාල මියගියාට පසු, පැවැත්වූ පළමුවෙනි උපන් දින සැමරුම පවත්වන ලද අතර, එදිනම එච්.ආර්. ජෝතිපාල මාවත නමින් මාවතක්ද, විවෘත කෙරුණි. මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ කලා ලොවේ එච්.ආර්. ජෝතිපාලගේ සමීපතම මිතුරා වූ විජය කුමාරතුංගයි. විජය කොතරම් ව්‍යක්ත කථිකයෙක් දැයි මම දැනගත්තේ එදාය.
එදා මම ටවර් හෝල් රඟහලේ එළියට බැස මාලිගාවත්තේ මහල් නිවාස අතරින් එච්. ආර්. ජෝතිපාල මාවතේ පැරණි අතීත සිහිකරමින් ගෙදර ගිය හැටි මට සිහිවේ.
ඉදලා හිටලා මගෙ අම්මගෙයි තාත්තගෙයි මිහිදන් කරපු සොහොන බලන්න බොරැල්ලෙ කනත්තෙ යන වෙලාවක් ඇත්නම්...
නුඹගේ සොහොන බලන්න එහි තත්පරයක් හෝ නැවතී අතීතය මෙනෙහි කරන්නත් ගී පද මුමුනන්න මා අමතක කරන්නේ නෑ.
අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ...
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති ...
Nannaththara jeevithe ගේ ඡායාරූපය
Nannaththara jeevithe ගේ ඡායාරූපය
Nannaththara jeevithe ගේ ඡායාරූපය