Thursday, September 26, 2019

ඇලපාත මුදළි මං මදහාස නගන් ගජමන් නෝනා.....


ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා ගේ අවසන් කටයුතු කළ තැන සදහන් වසර 150ක් පැරණි ලිපියක් හමුවේ

ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා 1814 දෙසැම්බර් මස 15 දින මියගොස් ඇත. ඇය වසර 56 ක් ආයු වළඳා ඇත. ඇගේ අවන්කටයුතු කළ තැන මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නොතිබුණි නමුත් මා ජාතික කෞතුකාගාරයේ ඇති වසර 150ක් ඉපැරණි පොතක් පරික්ෂා කිරිමේ දි ඇගේ අවසන් කටයුතු මාතර එකළ සිටි මුදලිවරුන්ගේ අනුග්‍රහයෙන් කළ ස්ථානය සදහන් ලිපියක් සහ සොහොන්කළ තැන සදහන් ලිපියක් කියවිමට ලැබිණි. එහි ස්කෑන් කළ පිටපත ඉදිරියට මා ඉදිරිපත් කරමි.

මාතර දීප්තිමත් කිවිඳිය ‘ගජමන් නෝනා’ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා මියගොස් වසර 204 යි

ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා මූලික අධ්‍යාපනය ලැබුවේ මාපියන් වෙතින් හා මිලාගිරිය පාසලෙනි. ඇයට දසමස් වියේදී එනම් 1759-7-30 දින බව්තිස්ම ලබා ඇති බව මිලාගිරිය තෝම්බුව අනුව පෙනී යන බව මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා පෙන්වා දෙයි.

ඇයගේ පියා වූයේ විරතාමුල්ල ගමගේ දොන් ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් ගජමන්ආරච්චි ය. 1737 බටහිර ගිරුවාපත්තුවේ බෙලිඅත්ත කහවත්තේ උපන් ගජමන්ආරච්චි උගතෙකි. දොන් සයිමන් විජේවර්ධන රණසිංහ තෙන්නකෝන් මුදලිගේ ලියනඅප්පු ලෙස සෙවය කරන ලදී. ඔහු කොළඹ ආණ්ඩුකාරවරයා වෙත හඳුන්වා දීමෙන් පසු ගජමන්ආරච්චි වසම හා කහවත්ත තෝම්බුව භාර වසම පවරා ඇත. විසිවන වියේදී කොල්ලුපිටිය මිලාගිරිය පල්ලියේදී බව්තිස්ම ලබා 1758-2-5 දින එම පල්ලියේ පාසලේ ප්‍රධාන ගුරුවරයාගේ එනම් ජසෙන්තු ග්‍රෙරුගේ දියණියක වූ ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත් නෝනා බබා හා විවාහ වී ඇත. විවාහයෙන් පසු කොළඹ කොල්ලුපිටියේ විසූ මොවුන් පසුව කහවත්තේ ද, පසුව මාතර වේරගම්පිට ද දරුවන් සමඟ විසීය. 1801-3-12 දින වීරකැටිය කහගල් විහාරය අසලදී ඇ‍ෙතකු විසින් දෙන ලද පහරදීමකින් මිය ගියේය. පියාගේ මරණය ගැන ගජමන් නෝනා ලියන ලද කවියකි.

සුපසන් ගුණ නුවණ දිලුම මහ

ගජමන් යන නම පැවතුම් කළ

මදුවන් යුග සදිසි ම පිය තනි මඟකට පැමිණිලා

ගජමන් යුවළට දරුවන් තිදෙනෙක් වූහ. වැඩිමලා ගජමන් නෝනා, දෙවැන්නා දොන් ලුවිස් සේනාරත්න පෙරුමාල් විජයරාම කුමාරසිංහ ගජමන් මොහන්දිරම්. ගජමන් යුවළගේ බාලයා වූයේ දොන් අර්නෝලියා පෙරුමාල් ය.

වැඩිමලා වූ ගජමන් නෝනා භාෂා ශාස්ත්‍රය පිළිබඳ වැඩිපුර අධ්‍යාපනය ලබා ගත්තේ සිය මාමා කෙනෙකු වූ පාත්තායමේ ලේකම්ගෙන් හා වේරගම්පිට සිය නිවෙස ඉදිරිපිට පන්සලේ කරතොට ධම්මාරාම හිමියන් ගෙනි. භික්ෂූන් වෙතින් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට වරම් නොමැති අවදියක ගජමන් නෝනා පිරිමි වෙස්ගෙන හිමි වෙත ගොස් කාව්‍ය ශාස්ත්‍ර උගත් යැයි කතාවකි. සිටිනාමළුවේ ධම්මජෝති හිමි වෙතින් ද මැය ශිල්ප හදාරා ඇත. සහජ කවීත්වයක් හිමි ගජමන් නෝනා කාගේත් ආදරයට පාත්‍ර වූ‍ෙවකි.

සිය කුඩා කළ තම පත්තායමේ මාමා විසින් කරන ලද විහිළුවකට

ඇය විසින් කියන ලද කවියකි.

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ

වතුර අරන් ළිඳ උඩ තැබුවාය කලේ

අට පහ නොදන්නා ජඩ‍යකි මේක කලේ

ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ

ලන්සි පන්නයට සිය මව වූ නෝනබබා මෙන් ඇඳුම් ඇඳි ඇයට පළමුව මාතර මිනිසුන් ගජමන් නෝනා යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ඇගේ මවටයි. කවිකාරියක් වූ කොර්නේලියා වියපත්ව ප්‍රසිද්ධ වෙත්ම ඇයට ගජමන් ‍නෝනා ලෙස හඳුන්වන්ට පටන් ගත් අතර ඇගේ මවට මාතර වැසියන් මහ ගජමන් නෝනා ලෙස හඳුන්වන්න පටන් ගත්තේය.

පියාගේ මරණින් පසු මහ ගජමන් නෝනා කොරනේලියා ගාල්ලේ ගාර්දියේ ආරච්චි කෙනකුට කසාද බන්දවා දී ඇත. එක් දරුවකු ලැබූ පසු ඇගේ සැමියා මියගොස් ඇත. ඉන්පසු මාතර උයන්වත්තේ දොන් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම්ට කසාද බැඳ දී තිබේ. එම විවාහයෙන් දරු තුන්දෙනෙක් උපන්නේය.

‍මෙසේ ඇගේ කලින් විවාහයේ දරුවා සමඟ උපන් දරුවන් සතරදෙනාගේ නම්, පළමු විවාහයෙන් ජුවානිස් අප්පු, දෙවන විවාහයෙන් ගිරිගෝරිස්, දාවිත්, දොන්දියස්, නොහොත් බබා ගුරුන්නාන්සේය. මොවුන් අතරින් දෙදෙනකු කොළඹ කොල්ලුපිටියේ පාසලක ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින විට රෝගයක් වැළඳී මියගොස් ඇත. තවත් පුතකු මහණ වී සිට අපවත් විය. සියල්ලන්ගෙන් බාලයා වූ විජය විමලසිරිවර්ධන මුහන්දිරම් දොන් දියස් පෙරුමාල් මාතර ප්‍රදේශයේ ජීවත්විය. ඔහු ද මව මෙන් කවි කීමේ ලිවීමේ දක්ෂයෙකි.

දොන් දියස් පෙරුමාල් තුඩාවේ මලවලආරච්චිගේ දුවණියක හා කසාද බැඳ දරු දෙදෙනකු උපන් පසු ඔහුගේ බිරිය ද මිය ගියේය. ඉන්පසු ඇගේ නැගණිය සමඟ විවාහ වූ ඔහුට ඇගෙන් පිරිමි දරුවකු ලැබීය. ඉන්පසු ඈ ද මියගොස් ඇත. ඔහුගේ පළමු කසාදයේ දියණියන් දෙදෙනකුගේ දියණියක් පැලෑනේ ලියනආරච්චිවරයකු හා කසාද බැඳ දී ඇත.

එම දියණියට දරුවන් හයදෙනකු ලැබ ඇත. ගජමන් නෝනාගේ අනිත් මිණිපිරිය වේරගම්පිට දොන් දියස් පෙරුමාල්ගේ ඥාති සහෝදරියකගේ පුත්‍රයකුට කසාද බැඳ දී ඇත. දොන් දියොස් පෙරුමාල්ගේ (ගජමන් නෝනාගේ බාලම පුතා) බෑනා පණ්ඩිත ගුණවර්ධන මුහන්දිරම් මහතා හෙවත් තුඩාවේ ගුරුන්නා‍න්සේ මහතාය. මොහු 1860 වකවානුවේ සිටි පණ්ඩිතයෙකි.

ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා 1814 දෙසැම්බර් මස 15 දින මියගොස් ඇත. ඇය වසර 56 ක් ආයු වළඳා ඇත. ඇගේ අවසන් කාලය ඉතා දුක් කම්කටොලුවලින් පිරී තිබූ එකකි. විවිධ පුද්ගලයන්ට කවි ලියමින් තම ජීවිකාව ගෙන ගිය ඇය මාතර එකල සිටි දිසාපති වූ ඩොයිලි වෙත ලියන ලද කවි ඉල්ලීම නිසා ඇය වෙත “නෝනාගම” නමින් අද හඳුන්වන එකල පලතුරු වත්තක් අම්බලන්තොටට නුදුරුව ලබා දී ඇත.

1915 වන විට ගජමන් නෝනාගේ මුණුබුරකු වන විජය විමල සිරිවර්ධන මුහන්දිරම් අප්පු සිංඤ්ඤෝ උපාසක රාල නමින් ද පොරවකආරච්චි මහතාගේ මුණුබුරකු පරණ අබේසිංහ ලියනආරච්චිගෙයි දොන් බාරොන් ද සිල්වා යන නමින් මාතර ජීවත් වී ඇත.

මා මාතර සිට ගජමන් නෝනා ජීවත්වූ නිවෙස වෙත ගිය අතර එය දැනට මාතර නගර සභාව භාරයේ ඇත. මාතර ගබඩා වීදියේ පිහිටි ලන්දේසි සමයේ සිට පැවත එන (කැරකෝප්පුව) සුසාන භූමිය මාතර පුරපති හඳුන්ගේ මහතාගේ අවසරය පරිදි වසර 45 පමණ එහි සේවය කළ සුසාන භූමි සේවකයකු සමග පරීක්ෂා කිරීමේදී ගජමන් නෝනාගේ මිනිබිරියකුගේ සොහොන් කොතක් හමුවිය.

වයස 90 ක් පමණ වන මාතර උයන්වත්ත ප්‍රදේශයේ වයෝවෘද්ධ මහතකු දෙන ලද තොරතුරක් අනුව ගජමන් නෝනාගේ සොහොන් කොත මාතර සුසාන භූමියේ ක්‍රිස්තියානි අය මිහිදන් කරන ප්‍රදේශයේ ඇති බවත්, තමා තරුණ කාලයේ ගජමන් පරපුරේ අය එම ස්ථානයේ ගජමන් නෝනා සිහිකිරීමේ කටයුත්තක් කළ බවත් පැවසීය. නමුත් ඉතා පැරණි සොහොන් කොත් දිය සෙවළ බැඳී අවර්ණ වී ශක්තිමත් නොවීම නිසා දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියාගේ වසර 200 ක් පමණ පැරණි ඒ සොහොන මා හට සොයාගැනීමට නොහැකි විය.

ගජමන් නෝනා විසින් රචිත පද්‍ය

i. දෙනිපිටිය නුගරුක වැනුම

ii. පියා මරණය පිළිබඳ ශෝකාලාපය

iii. ඇලපාත මුදලි හා හුවමාරු කවි

iv. වෙනත් සමකාලීන උගතුන්ට ලියූ කවි

v. චතුරශ්‍ර ජාලම, ශඩරචක්‍ර බන්ධන දුෂ්කර බන්ධ

vi. ජනකවි සම්ප්‍රදායේ රචනා

vii. තිලකරත්න දිසානායක මුදලිට සෙත්පතා ලියූ කවි

viii. තිලකරත්න මුදලිට සෙත් පැතූ දුෂ්කර බන්ධනය

ix. තිලකරත්න ළමාතැනී කළ පින්කම් වරුණ

x. සමරසේකර ගුණවර්ධන ගජනායක නිලමේගේ මරණය පිළිබඳ කවි

xi. සේවි වික්‍රමාරච්චිට සෙත්පතා ලියූ කවි

xii. තිලකරත්න මුදලිගෙන් පිහිට පතා ලියූ කවි

xiii. සහබන්දු මුදලිගෙන් ආධාර පතා ලියූ කවි

xiv. ජෝන් ඩොයිලි දිසාපතිට ආධාර පතා ලියූ කවි

xv. විවිධ අවස්ථාවන්හි කියූ කවි

xvi. දැඩිතර සෝක මාලය ඇය විසින් ලියා ඇති දීර්ඝතම කවි පොතයි.

ඇලපාත මුදලි හා කවි සංවාදයක්

ඇලපාත මුදලි

පාලා සරඹ ජය කොඩි බඳිති සැම දෙනේ

සීලාචාර‍ සේ කම් පාන අට ගුනේ

බාලා අඟනුන්ගෙ තව් කපන තොරපනේ

ගාලා කොතැන මුවහත් කරම් ද නෝනේ

ගජමන් නෝනා

පසන් නැණ ගුණැති හිමි සදිනි සසො බනේ

පසන් පිරිමින්ගේ ඔද බඳින ජල මනේ

වසන් කර තිබෙන මගෙ පළිඟු ගල් වනේ

නිකන් ගා දිනන්නට නොදෙමි තොර පනේ

ඇලපාත මුදලි

රුති රති ලද ලියෙහි අප අසන පැනකිය

නැතිවිය බාල කාලේ සිට රති ‍ කෙළිය

ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය

රති සැප විඳින හැටි මට කියව ලද ලිය

ගජමන් නෝනා

වහා තිබූ සළුව උනමින් කර අහකා

රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා

පගා නොව හඬන කොවුළිඳු හඬ වලකා

කහ කොටන වැනි ඉඳගෙන මිරිස් කකා

ඇලපාත මුදලි

රූබර දිගැසියන් වෙල් මැදට බසිමිනේ

ආදරයෙන් කරල් මිටි රැගෙන යන තැනේ

වා සරයෙන් ඉන ඇඳි වත ඉවත් වුනේ

වාහර මුව සෙ නැබ මුල සුරති ගති පෙනේ

ගජමන් නෝනා

කේසර එන්ට පෙරතුරු ගජකුගෙ දැක්සේ

වේ සර හට වුවොත් කුරුලුට වෙයි දුක් සේ

ඒ සැර ලියෝ ඇසුවොත් මේ වග දක්සේ

වානර මුව උලති හම යනකන් ‍හොස්සේ


නන්නාත්තර ජීවිතයෙන් බිඳක්...
උපුටා ගැනීම සහ තොරතුරැ නන්දික බැද්දේගම ගෙනි.

No comments:

Post a Comment

හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්